රෝගී මත්ස්‍යයන් සඳහා මින්මැදුරු ලුණු භාවිතා කරන ආකාර

  


  මින්මැදුරු ලුණු මිරිදිය ටැංකි වල භාවිතා කිරීම සුදුසුද? මත්ස්‍යයන්ට අත්‍යවශ්‍ය වන විද්‍යුත් විච්ඡේද්‍යයන් සැපයීම සඳහා එසේ යෙදීම සුදුසු බව ඇතැමුන් පැවසුවත්,තවත්පුද්ගලයන් පවසන්නේ රෝග වලට ප්‍රතිකාරයක් ලෙස පමණක් මින්මැදුරු ලුණු භාවිතා කළ යුතු බවයි.

  ලුණු (සෝඩියම් ක්ලෝරයිඩ් NaCl) කියන්නේ වෙළඳපොලේ ඔබට පහසුවෙන් මිලදී ගත හැකි,බැක්ටීරියා, දිලීර සහ බාහිර පරපෝෂිතයන්ට එරෙහිව භාවිතා කළ හැකි ඉතාමත් සාර්ථක ප්‍රතිකාරයක්.එය ඉතාම සාර්ථක වන්නේ එහි ඇති ප්‍රතිඵලදායකබව නිසා පමණක් නොවේ.ලුණු ඕනෑම රටක ඉතා පහසුවෙන් අඩු මුදලට ලබාගත හැකි වීමත්, කල් ඉකුත් නොවීමත්, ඉතා අඩු සහ වැඩි යන විවිධ සාන්ද්‍රන මට්ටම් වලින් භාවිතා කළ හැකි වීමත් යන කාරණා නිසයි.

  ලුණු භාවිතා කිරීමෙහි අවාසිදායක තත්ත්වයන්ද නැතුවාම නොවෙයි.විවිධ මත්ස්‍ය විශේෂ වල ලුණු වලට ඇති දැරීමේ හැකියාව විවිධ විය හැකි නිසා ඒ එක් එක් වර්ගයට යෙදිය යුතු ලුණු ප්‍රමාණය තේරුම් ගැනීමත් මතක තබා ගැනීමත් අපහසු විය හැකියි. මීට අමතරව මාළු ටැංකි සඳහා යොදන බොහෝ සජීවී පැළෑටි සහ ගොලුබෙල්ලන් සඳහා ලුණු අහිතකරයි.තවද පමණට වඩා වැඩි මාත්‍රාවකින් ලුණු යෙදීම බොහෝ පහසුවෙන් සිදුවිය හැකි අත් වැරැද්දක්. 

  මේ නිසා ටැංකියේ ඇති බැක්ටීරියා පමණක් නොවෙයි සියලුම දේවල් මරණයට පත් විය හැකියි.කෙසේ නමුත් නිවැරදි මාත්‍රා වලින් යොදනවා නම් සහ ප්‍රවේශමෙන් භාවිතා කරනවා නම්,ආධුනික සහ අත්දැකීම් බහුල යන කාණ්ඩ දෙකටම මාළු ටැංකි සඳහා ඉතා පහසුවෙන් ලුණු වලින් ප්‍රයෝජන ලබා ගත හැකියි.


මින් මැදුරු ලුණු ක්‍රියාත්මක වන්නේ කෙසේද?



  මින්මැදුරු ලුණු,එහෙමත් නැත්නම් aquarium salt කියන්නේ සාමාන්‍ය සෝඩියම් ක්ලෝරයිඩ් වලටමයි.නමුත් ඒවා ආහාර සඳහා යොදන සාමාන්‍ය මේස ලුණු වලින් වෙනස් වන්නේ මින්මැදුරු ලුනු සදහා අයඩින් ඇතුළු වෙනත් ආකලන වර්ග එක් කර නොතිබීම නිසයි.
   මාළු ටැංකියකට ලුණු යෙදූ ව්ට බැක්ටීරියා, දිලීර සහ වෙනත් පරපෝෂිතයන්ගේ සමෙන් පිටත සහ අභ්‍යන්තර ලුණු සාන්ද්‍රණයන් වෙනස් නිසා,ආස්‍රතිය මගින් ඔවුන්ගේ සම අභ්‍යන්තරයේ ඇති ජලය පිටතට ඇදී ගොස් විජලනය වීම හරහා මරණයට පත් වෙනවා.මත්ස්‍යයන් ප්‍රමාණයෙන් විශාල නිසා සහ ඔවුන්ගේ සිරුරේ තැන්පත් කළ ජලය තිබෙන නිසා ඔවුන්ට වඩා සාපේක්ෂව කුඩා මෙම ක්ෂුද්‍ර ජීවින් වඩා ඉක්මනින් විජලනය වෙනවා.මේ නිසා ධාරකයාට පෙර පරපෝෂිතයා මිය යාම සිදුවෙනවා.
  කෙසේ නමුත් ඇතැම් ක්ෂුද්‍ර ජීවී විශේෂ ඉහළ ලුණු සාන්ද්‍රණයන්ට ප්‍රතිරෝධී වන අවස්ථාද තිබෙන නිසා ලුණු 100%ක්ම සාර්ථක විසඳුමක් වන්නේ නැහැ.

ලුණු සෑම විටම භාවිතා කළ යුතුද?



  නැහැ.මත්ස්‍යයන්ගේ සෞඛ්‍ය සම්පන්න බව උත්තේජනය කිරීමට හෝ රෝග කලින්ම වලක්වා ගැනීමේ බලාපොරොත්තුව ඇතිව දිනපතා සෝඩියම් ක්ලෝරයිඩ් යෙදීම සිදු නොකළ යුතුයි.එය හරියට නිරෝගී පුද්ගලයෙකු ආසාදන ඇතිවීමේ අවදානම වළක්වා ගැනීමේ අරමුණෙන් දිනපතා ප්‍රතිජීවකයක් ලබා ගැනීම හා සමානයි.
  පසුකාලිනව ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධී රෝගකාරකයෙකු නිර්මාණය වූ දිනයකඑම පුද්ගලයාට ලබාගත හැකි ප්‍රතිකාර ඉතා සීමිත වීමට එය හේතුවක්.ඒ ආකාරයටම නීරෝගී මත්ස්‍යයන් සිටින ටැංකියකට පුරුද්දක් වශයෙන් ලුණු යෙදීම මගින් මුලින් මත්ස්‍යයන් රෝග වලින් ආරක්ෂා වුවත් පසුකාලීනව එම රෝගකාරකයන් ලුණු වලට ප්‍රතිරෝධී වීම නිසා ක්‍රම ක්‍රමයෙන් ප්‍රතිඵලයක් ලැබීම සඳහා යෙදිය යුතු ලුණු සාන්ද්‍රණය වැඩි කිරීමට සිදුවනු ඇත.
  ඉහළ ලුණු සාන්ද්‍රණයක් මත්ස්‍යයන්ට පවා අහිතකර විය හැකියි.ඒ වෙනුවට අවශ්‍ය අවස්ථාවලදී පමණක් ලුණු යෙදීම මගින් විවිධ රෝගකාරකයන්ට එරෙහි බලසම්පන්න අවියක් බවට එය පත්කර ගත හැකියි.

ඖෂධයක් ලෙස ලුණු භාවිතා කරන්නේ කෙසේද?


  ලුණු විවිධ වර්ග වලින්,විවිධ ප්‍රමාණ වලින්,පිරිසිදු මට්ටම් වලින් සහ රසායනික සංයෝග වලින් පැමිණෙනවා. කෙසේ නමුත් අප මේ ලිපියේදී කතා කරන්නේ සාමාන්‍ය පිරිසිදු සෝඩියම් ක්ලෝරයිඩ් හෙවත් මින්මැදුරු ලුණු ගැන මිසක් මේස ලුණු, සහිඳ ලුණු හෝ වෙනත් එවැනි ලුණු වර්ගයක් ගැන නොවෙයි.(එසේම පහතින් අපි දක්වා ඇති ප්‍රමාණ ඉදිරිපත් කර ඇත්තේ ඇමරිකානු ක්‍රමයට මිස බ්‍රිතාන්‍ය සම්මත ක්‍රමයට නොවෙයි).මෙම ක්‍රමයේදී ඉතා අවම ලුණු මට්ටමකින් ආරම්භ කර රෝග ලක්ෂණ දිගටම පවතිනවානම් ක්‍රමයෙන් ලුණු ප්‍රමාණය වැඩි කිරීම සිදු කෙරෙනවා.

පළමු මට්ටමේ ප්‍රතිකාර වතුර ගැලුම් 3කට ලුණු මේස හැන්ද බැගින් යෙදීම.



  ඔබේ ටැංකියේ සෑම ජලය ගැලුම් තුනකටම ලුණු මේස හැන්ද බැගින් යෙදීමෙන් සරලම ප්‍රතිකාර ක්‍රමය ආරම්භ කරන්න. මෙහිදී ඇතැම් පුද්ගලයන් සෘජුවම ටැංකියට ලුණු යෙදීම සිදු කළත්, ඇතැම් පුද්ගලයන් වතුර කෝප්පයකට පළමුව ලුණු දියකර ඉන්පසු ටැංකියට එකතු කිරීමසිදු කරනවා.මෙම ක්‍රමය හරියට සමේ ඇතිවන කුඩා කැපුමක මතුපිටින් ආලේප කරන ඖෂධයක් හා සමානයි.එනම් මෙය ප්‍රබල නොවන,ඉතාම මූලික මට්ටමේ ප්‍රතිකාරයක්.
  
  මෙය දරුණු නොවන බැක්ටීරියාසහ දිලීර ආසාදන සඳහා යොදාගත හැකියි.තවද මෙහිදී ලුණු මගින් මත්ස්‍යයාගේ සිරුරේ ඇති සෙවල ආවරණය යාන්තමින් හානි වන නිසා, හානිකර ක්ෂුද්‍ර ජීවින්ට සහ පරපෝෂිතයන්ට ඔවුන්ගේ සිරුරට ළඟා විය නොහැකි පරිදි ප්‍රයෝජනවත් සෙවල නැවත නිපදවීම ඔවුන් සිදු කරනවා.සාමාන්‍යයෙන් අප මේ සඳහන් කල ලුණු සාන්ද්‍රණය ඇන්කර් කැට්ෆිෂ් Anchor catfish මත්ස්‍යයන්ට හැරුණුකොට වෙනත් ඕනෑම විශේෂයකට ආරක්ෂිතයි.දින 4-5 පමණ මත්ස්‍යයන් ලුණු ද්‍රාවණයෙහි තිබෙන්නට හැර රෝග ලක්ෂණ වල වෙනසක් නැත්නම් සාන්ද්‍රණය ක්‍රමයෙන් වැඩි කරන්න. එරෙහි බලසම්පන්න අවියක් බවට එය පත්කර ගත හැකියි.
  

දෙවන මට්ටමේ ප්‍රතිකාර වතුර ගැලුම් 2කට ලුණු මේස හැන්ද බැගින් යෙදීම.


  ඊළඟ මට්ටමේ ප්‍රතිකාර සඳහා ටැංකියේ ජලය සෑම ගැලුම් 2 කටම ලුණු මේස හැන්ද බැගින් යෙදිය යුතුයි.මෙම මට්ටමේ ප්‍රතිකාරමගින් විශාල පරාසයක රෝග වලට ප්‍රතිකාර කළ හැකියි. උදාහරණයක් වශයෙන් සාමාන්‍යයෙන් සුදු පුල්ලි රෝගය හෙවත් ඉච් (ich) රෝගයට දින 10ක් පුරාවට ප්‍රතිකාර කිරීම සඳහා දෙවන මට්ටමේ ප්‍රතිකාර භාවිත කළ හැකියි.කෙසේ නමුත් දින 5කට පසුත් රෝග ලක්ෂණ තවදුරටත් උත්සන්න වන බව පෙනෙනවා නම් තවදුරටත් ලුණු සාන්ද්‍රණය වැඩි කරන්න.

තෙවන මට්ටමේ ප්‍රතිකාර ජලය ගැලුම් 1කට ලුණු මේස හැන්ද බැගින් යෙදීම.



  ඖෂධ සහ අඩු ලුණු සාන්ද්‍රණයන් මගින් ප්‍රතිඵලයක් නොමැති විට ජලය ගැලුම් 1කට ලුණු මේස හැන්ද බැගින් සාන්ද්‍රණය වැඩි කරන්න.මෙම ද්‍රාවණය මගින් සෑම දෙයක්ම පාහේ විනාශ කළ හැකියි.
  
  මෙම සාන්ද්‍රණය කොරපොතු රහිතමසුන් ඇතුළු සංවේදී විශේෂ වලට ඉතා ප්‍රබල සහ අසීරු විය හැකි නිසා අත්හදා බැලීමට පෙර ඔබේ ටැංකියේ වාසය කරන මත්ස්‍ය විශේෂ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. සාමාන්‍යයෙන් රැස්බෝරා Rasbora ඩැනියෝස් danios ටෙට්‍රා tetra සිල්වර් ඩොලර් silver dollar ලයිව් බෙයාරර්ස් Livebearers සික්ලිඩ් සහ ඔවුන්ගේ පැටවුන්ට cichlids සැලකිය යුතු මට්ටමකින් ලුණු දරාගත හැකියි

සැලකිය යුතුයි - 

මින්මැදුරු ලුණු වාෂ්ප වන්නේ හෝ පෙර් යන්නේ නැහැ.

  ජලය වාෂ්ප වී ගියත් ලුණු ඉතිරි වන නිසා ටැංකියේ ජලය මාරු කරන අවස්ථාවේදී පමණක් නියමිත ප්‍රමාණයට ලුණු යෙදීම සිදු කරන්න.උදාහරණයක් ලෙස ඔබ ඉච් පරපෝෂිතයන් සඳහා ජලය ගැලුම් 100කට දෙවන මට්ටමේ ප්‍රතිකාරයක් සිදු කරනවානම් ඔබට ලුණු මේස හැඳි 50ක් අවශ්‍ය වෙනවා.

  ඉන් පසුවඔබ ටැංකියේ ජලයෙන් 20%ක් මාරු කරන විට (ජලය ගැලුම් 20ක්) කලින් ලුණු සාන්ද්‍රණයම පවත්වා ගැනීම සඳහා අලුතෙන් එකතු කරන ජල ප්‍රමාණයටත් ලුණු වලින් 20% (මේස හැඳි 10ක්) එක්කරන්න.කෙසේ නමුත් අනෙක් ඖෂධ මෙන් කාලයත් සමග ලුණු බිඳ වැටෙන්නේ නැති නිසා අත්වැරදීමකින් ලුණු වැඩි ප්‍රමාණයක් වැටීම වළක්වාගැනීම සඳහා ඉතා සැලකිලිමත්ව ලුණු යෙදීම සිදු කරන්න.

කොපමණ කාලයක් ලුණු ප්‍රතිකාරය සිදු කල යුතුද?



  මත්ස්‍යයන්ගේ රෝග ලක්ෂණ පහව ගොස් ඔවුන් නැවතත් නිරෝගී බව පෙනෙන තෙක් ටැංකියේ ලුණු තිබෙන්නට හරින්න.ජලය මාරු කිරීම මගින් ටැංකියෙන් ලුණු ඉවත් කළ හැකියි. ප්‍රතිකාරය අවසානයේ ලුණු එක් නොකර ජලය 30%ක් මාරුකර සතියක් පමණ සුපරීක්ෂාවෙන් පසුවන්න.රෝගය නැවතත් වැළඳුණු ලක්ෂණ පෙන්වන්නේ නැතිනම් ලුණු රහිතව වතුර 30%ක් මාරුකර තවත් සතියක් හිඳින්න.
  රෝගය නැවත පැමිණ තිබෙනවා නම්, මාත්‍රාව තවදුරටත් ප්‍රබල කිරීමටවැඩිපුර ලුණු ස්වල්පයක් එක් කොට නැවතත් මූලික ලුණු ප්‍රතිකාරය සිදු කරන්න.
  රෝගය නැවත පැමිණීමට හේතුව රෝගය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට තරම් මූලික ලුණු සාන්ද්‍රණය ප්‍රබල නොවීම හෝ සම්පූර්ණයෙන්ම රෝගකාරකයන් විජලනය කර දැමීමට තරම් කාලයක් මත්ස්‍යයන් ලුණු වතුරේ ගත කර නොතිබීම විය හැකියි.

නිරෝධායනය කරන මත්ස්‍යයන් සඳහා ලුණු භාවිතා කළ හැකිද?



  අලුතෙන් ගෙනා මත්ස්‍යයන් මූලික ටැංකියට එකතු කිරීමට පෙර වෙනම නිරෝධායනය කරන විට පළමු මට්ටමේ ලුණු සාන්ද්‍රණය සති 2ක් පමණ ඔවුන්ට යෙදිය හැකියි.සාමාන්‍යයෙන් එම සාන්ද්‍රනය මගින් ඇතිවිය හැකි රෝග 60%ක් පමණ වළක්වා ගත හැකියි.තුවාල වීම නිසා හුදෙකලාව සිටිමින් ප්‍රතිකාර ගන්නා මසුන් සඳහාද මෙය භාවිතා කළ හැකියි.
  වෙළඳපොලෙන් එක් එක් රෝග සඳහා ඉතා පහසුවෙන් ඖෂධ මිලදී ගත හැකි වුණත් ලුණු ඒවාට වඩා සුවිශේෂී වන්නේ හඳුනා ගැනීමට අපහසු රෝග වලට පවා ප්‍රතිකාර කිරීමට එයට ඇති හැකියාව නිසයි. 
  ඊට අමතරව ඇතැම් රටවල් දැනටමත් මනුෂ්‍යයන්ගේ සහ පරිසරයේ සෞඛ්‍යය සඳහා සුරතල් සත්ව වෙළඳාමේදී භාවිතා කරන ප්‍රතිජීවක සහ වෙනත් ඖෂධ තහනම් කිරීමට පෙළඹී තිබෙනවා.මේ නිසා අනාගතයේදී රෝගී මත්ස්‍යයන් සඳහා ඔබට භාවිතා කළ හැකි හොඳම ප්‍රතිකාරය ලුණු බවට පත්වනු ඇත.






Comments

Anonymous said…
👍🤘